වර්තමානයේ සමාජ ජාලය පුරා වැඩිපුරම දක්නට ලැබෙන  හා අසන්නට ලැබෙන වදනක් බවට මානසික අවපීඩනය හෙවත් “Depression” පත්වී ඇත. මානසික රෝග අතරින් පුද්ගල හානිය මෙන්ම සමාජ හානිය ද ප්‍රබල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් ලෙස විශාදය හඳුන්වා දිය හැකිය. මානසික අවපීඩනය හෙවත්  විශාදය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතළ රෝගයකි. එය හුදෙක් දුකක් දැනෙනවාට වඩා වැඩි දෙයක් වන අතර , මානසික අවපීඩනය පුද්ගලයකුගේ දෛනික ක්‍රියාකාරකම්, සම්බන්ධතා සහ රැකියාවේ සාමාන්‍ය ලෙස සැරිසැරීමට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක ලෙස බලපෑම් කරයි. ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම්, ඔබට සියලු බලාපොරොත්තු සහ වටිනාකම් අහිමි වූවාක් මෙන් ඔබට හැඟෙන්නට පුළුවන, ඔබ අත්විඳින්නේ කුමක්ද යන්න කිසිවෙකුට වැටහෙන්නේ නැත. කෙටි කාලීනව හෝ දිගු කාලීනව රෝගියා  අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. ඉතා ප්‍රබල ලෙසම ජීවිතය පිළිබඳව කලකිරීම මෙන්ම ඍණාත්මක සිතුවිලි ඇති වීම, පරාජිත හැඟීම් ඇතිවීම, අසුබවාදී ලෙස කටයුතු කිරීම  මෙම රෝගීන්ගේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැකි අතර  උග්‍ර රෝග ලක්ෂණ ඇති වූ විට රෝගියා සියදිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකිය.

ජාත්‍යන්තර සංඛ්‍යාලේඛනවලට අනුව, මානසික අවපීඩනය වසංගතයක් වන අතර, යෞවනවියෙහි පසුවන පිරිස විශේෂයෙන් අවදානමට ලක් වේ. යෞවනයන්ගෙන් 8% ක් පමණ මානසික අවපීඩනයෙන් පීඩා විඳිති, සියදිවි නසා ගැනීම ලොව පුරා යෞවනයන් අතර මරණ සඳහා දෙවන ප්‍රධාන හේතුව වේ. මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කිසිඳු උපකාරයක් නොගන්නා බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.සමස්තයක් වශයෙන්, පුද්ගලයන් දාහතකින් එක් අයෙක් තම ජීවිතයේ යම් අවස්ථාවක  මානසික අවපීඩනය නැතහොත් විශාදය රෝග තත්ත්වයෙන් පීඩා විඳියි. වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 322 ක ජනතාවක් මානසික අවපීඩනයෙන් පීඩා විඳින බවට වාර්තා වී ඇති අතර ලොව බොහෝ කලාපවල, පිරිමින්ට වඩා කාන්තාවන්ට මානසික අවපීඩනයට ගොදුරු වීමේ සම්භාවිතාව දෙගුණයක් වන බවට හඳුනාගෙන ඇත.

ලොව පුරා වාර්ෂිකව සියදිවි නසාගැනීම් හේතුවෙන් පුද්ගලයන් 800,000 ක් පමණ මිය යති.බොහෝ අවස්ථාවන්හීදී, මිනිසුන් සියදිවි නසා ගන්නේ දිගුකාලීන මානසික අවපීඩනය හෝ එදිනෙදා ජීවිතය දරාගත නොහැකි වෙනත් මානසික රෝගවල සෘජු ප්‍රතිඵලයක් ලෙසය. පසුගිය වසර කිහිපය තුළ සියදිවි නසාගැනීම් අනුපාත ක්‍රමයෙන් වැඩි වී ඇත. ඇත්ත වශයෙන්ම, මේ මොහොතේ මානසික අවපීඩන මරණ අනුපාතිකයට අනුව, වයස අවුරුදු 15 සිට 29 දක්වා පුද්ගලයන්ගේ මරණයට දෙවන ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීමය. සංවර්ධනය වෙමින් පවතින රටවල මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයන්ගෙන් 75% කට තවමත් කිසිදු ප්‍රතිකාරයක් නො ලැබේ.

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් තුළ මොළයේ ජෛව රසායනය වෙනස් වේ; උදාහරණයක් ලෙස "සතුටු" හෝමෝන අඩුවෙන් නිකුත් වේ. එබැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික අවපීඩන සංඛ්‍යාලේඛනවලට අනුව, වැඩ කිරීමට, ජීවත් වීමට සහ සමාජයේ ඵලදායී සාමාජිකයෙකු වීමට ආශාවක් තිබියදීත්,  මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ට නිසි ප්‍රතිකාර, ඔවුන්ගේ ආදරණීයයන්ගේ උපකාරය හෝ ඖෂධ ගැනීමෙන් තොරව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගත නොහැකිය.

විශාද  රෝගය ඇතිවිය හැකි ආකාරය අනුව කොටස් දෙකකට වර්ග කළ හැකිය.

1.සරල විශාදය- මනෝසමාජීය හේතූන් මත ඇතිවන ‍ ප්‍රබල කලකිරීමකට පත් නො වුනද මානසික වේදනාව නිසා දෛනික වැඩ කටයුතු කඩාකප්පල් වීම මේ තුළ දක්නට ලැබේ.එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදු වන පවුල් ප්‍රශ්න, රැකියාවේ ගැටලු,  ප්‍රේමය කඩවීම,දික්කසාදය යනාදී මනෝ සමාජ ප්‍රශ්න පදනම් කරගෙන සරල විශාදය තත්ත්වය ඇතිවිය හැකිය.

2.උග්‍ර විශාදය- බොහෝ සෙයින් වෛද්‍ය විද්‍යාත්මක හේතු පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. මූලික වශයෙන්ම රසායනික හේතූන් මත ඇතිවන විශාදය උග්‍ර විශාදය ලෙස නම් කළ හැකිය. විශේෂයෙන්ම මොළය තුළ විශාදය ඇති වන රසායනිකයන් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදුවීම මේ සඳහා මූලික වශයෙන් හේතු වේ. උග්‍ර විශාද තත්ත්වයේදී සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වේ. ස්වයං ගෞරවය බිඳ වැටීම නිසා පරාජිත හැඟීම් ඇතිවීම මෙන්ම සෘණාත්මක සිතුවිලි ඇති වීමෙන් රෝගියා ප්‍රබල වශයෙන්ම ආවේගශීලී තත්ත්වයට පත්වේ.අධික ලෙස  මත්ද්‍රව්‍ය මත්පැන්වලට යොමු වූවන් සහ ක්ෂණික කම්පන පදනම් කරගෙන වන මානසික අවපීඩන තත්ත්වයන් නිසාද මෙම  තත්ත්වය ඇතිවිය හැකිය. රෝගීන් ක්ෂණිකව මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වේ.

විශාද රෝගයේ  මූලික ලක්ෂණයන් අංශ තුනක් යටතේ ඉදිරිපත් කළ හැකිය 

  1. කායික ලක්ෂණ
  2. මානසික ලක්ෂණ
  3. ආවේගී ලක්ෂණ

 

කායික ලක්ෂණ යටතේ ආහාර අරුචිය, නින්ද නොයෑම, ශරීර අප්‍රාණිකත්වයත්වය, අධික හිසරදය ආදී ලක්ෂණ හඳුනාගත හැකි අතර මානසික ලක්ෂණ ලෙස ආත්ම විශ්වාසය බිඳ වැටීම, සතුට අහිමි වීම, අසුබවාදී ආකල්ප ඇතිවීම, තීරණ ගැනීමේ අපහසුව, අධික ලෙස බිය දැනීම  යන ලක්ෂණ ද ආවේගී ලක්ෂණ යටතේ දැඩි කැළඹීම,ප්‍රචණ්ඩකාරී හැසිරීම්, තමන් පිළිබඳ දැඩි වෛරයක් ඇති වීම,දිවි නසා ගැනීමට හෝ වෙනත් කෙනෙකු මරාදැමීමට සිතුවිලි ඇති වීම විශාද රෝගියකුට ඇතිවිය හැකි රෝග ලක්ෂණයන්ය.

රෝග විනිශ්චය කිරීමේ පළමු පියවර වන්නේ වෛද්‍ය ඇගයීමක් සඳහා  වෛද්‍යවරයකු හමුවීමයි. ඇතැම් ඖෂධ වර්ග සහ තයිරොයිඩ් ආබාධ වැනි සමහර රෝග තත්වයන් විශාදයට  සමාන රෝග ලක්ෂණ ඇති කළ හැකිය. ශාරීරික පරීක්ෂණයක්, සම්මුඛ පරීක්ෂණයක් සහ රසායනාගාර පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව රෝගය නිශ්චය කර ඔහුට හෝ ඇයට ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීමට හෝ රෝගියා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු වෙත යොමු කළ හැකිය. මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයකුට රෝග විනිශ්චය කළ පසු, විවිධ ක්‍රම මගින්  ප්‍රතිකාර කළ හැකිය. මානසික අවපීඩනය. විශාදය සඳහා ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ විෂාදනාශක ඖෂධ සහ මනෝචිකිත්සාවන් වන අතර ඒවා ඒකාබද්ධව ද භාවිතා කළ හැකිය.

මිනිස්සුන්ගේ හිත්  විවිධාකාරය ය, දරා ගැනීම් මට්ටම් එකිනෙකට වෙනස්ය, ඒත්  ප්‍රශ්නයකට ඇති පහසුම විසඳුම මරණය ලෙස යම් අයකු ද දකිනවා නම් එය ඔහුගේ ජිවත් වන වටපිටාවේ හෝ මානසික මට්ටමේ පවතින විශාල ගැටලුවකි." අමාරුයි ,දරා දරාගන්නට බැහැ" ලෙස දකින සමහර ප්‍රශ්නවලට වඩා ප්‍රශ්න දරාගෙන නොමැරී ජීවත්වන මිනිසුන් මේ ලෝකයේ අනන්තවත් ජීවත්වනවා විය හැකිය..ජීවිතය උපරිමයෙන් විඳිමින් සතුටින් ගත  කරන කෙනකුගේ ජීවිත  වුව ද  සමහර කාලවල දී  හැල හැප්පීම්වලට ලක්වෙි. අප  අපගෙන්ම ගිලිහී යන අවස්ථා අප හැම හැමෝටම තිබේ. සතුට පවතින්නේ අප අවට තියෙන දේ මත පමණක්ම නොවන වග අප මතක තබාගත යුතුය.. සතුට සෑම විටම පවතින්නේ අප තුළමය. එය හරියට ගස්වල කොළ හැලෙන හැලෙන්න ලස්සනට දළු දානවා වාගේ ය.  ඔබේ ජීවිතේ හැල හැප්පීම් මධ්‍යයේ ඉවසීමෙන් ශක්තිමත්ව නැගී සිටින්න කිසිම විටක අත් නොහරින්න. ඒ අත් නොහැරීම ගැන ඔබ දිනක ඔබට ස්තුති කරාවි……………



මූලාශ්‍ර:

Dealing with depression – by Linda Bjork 

https://www.psychiatry.org/patients-families/depression/what-is-depression

https://www.bbrfoundation.org/faq/frequently-asked-questions-about-depression?gclid=Cj0KCQjwz7uRBhDRARIsAFqjulmNG4OX1_yokx2_6X5CS2xGLW1hAkEAWyBnF5-Frw5fKiODKhDEYAcaAvSOEALw_wcB

https://my.clevelandclinic.org/health/diseases/9290-depression

https://policyadvice.net/insurance/insights/depression-statistics/

ලස්නි නෙලුනිකා විජයවර්ධන

මහජන සම්බන්ධතා හා මාධ්‍ය  කළමනාකරණ (විශේෂවේදි පළමු වසර)

ජනසන්නිවේදන අධ්‍යනාංශය

සමාජ විද්‍යා පීඨ