“සතුට” පුද්ගලයෙකුගේ ජීවිතය සමග ඇති තෘප්තිය සහ මානසික යහ පැවැත්ම අතර පවත්නා සුසංයෝජනයක් වේ. සතුටින් සිටීම තුළ ධනාත්මක චිත්තවේගයන් උද්දීපනය වීම සිදුවේ. ඔබ සතුට යන වචනය අර්ථ දැක්වීමට උත්සාහ කර තිබේ ද? එසේ නැතිනම් ශබ්ද කෝෂය තුළ සතුට යන වචනයට අර්ථ දැක්වීම සොයා බැලුවාද? එසේ ඔබ සතුට යන වචනයට අර්ථ දැක්වීම ඉතා දුෂ්කර බව ඔබට වැටහෙනු ඇත. පුද්ගලයකුට දැනෙන සතුටෙහි ප්‍රමාණය අපට නිසි ලෙස මැනිය නොහැක. නමුත් පුද්ගලයකුට සතුට උපයා ගත හැක. ඒ පුද්ගලයා ජීවත්වන රටාව අනුව සතුට උපයා ගත හැක. සතුට උපයන ආකාරය පිළිබඳව මෙම ලිපිය තුලින් අවධානයට යොමු වේ.

පුද්ගලයන් විවිධ ආකාරයට සතුට උපයනු ලැබේ. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට උපයන ලබන ආකාරයන් විවිධ වේ. විටෙක එක් අයෙක් යම් දෙයක් මත සතුටට පත් වුවද අනෙකාට එය සතුටක් නොවිය හැක. සතුට පුද්ගලානුබද්ධ ය. පුද්ගලයකු දැහැමිව ජීවත්වෙමින් සතුට ලබන අතර තවකෙකු එය වෙනස් ආකාරයකට සතුටු විය හැක. සතුට ධනාත්මක චිත්තවේගයන් අනුව, කැපවීම අනුව, සබඳතා අනුව එසේ නොමැතිනම් සාර්ථකත්වය ආදී වූ ක්‍රමයන් ඔස්සේ සතුට ළඟා කර ගත හැක. වර්තමාන තරගකාරී ජීවන රටාව තුළ අපට අප අත් විදින විවිධ ප්‍රශ්න, ගැටලු සහ මානසික පීඩනය සමග ජීවිතයන්හි සතුට සොයා ගැනීමට අසීරු වී ඇත. හොඳ රැකියාවක්, හොඳ මිතුරු මිතුරියන්, මුදල් ඉපයීම, ලස්සන නිවසක්, ආදරය ලැබීම හා සුන්දර රූපයක් ලබා ගැනීම ආදී වූ බොහෝ ක්‍රමවේදයන් හරහා අප සතුට ළඟා කරගැනීමට උත්සාහ කරයි. නමුත් අප එලෙස ලබා ගන්නා සතුට දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම ඉතාම අසීරු කරුණකි.

යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහිතව ජීවත් වීමට සතුට යන්න අත්‍යවශ්‍ය කරුණකි. එදිනෙදා ජීවිතය තුළ සතුට ළඟා කර ගැනීමට අපව විවිධ ක්‍රමවේදයන්හි නිරත විය හැක.

01.සංගීතයට සවන් දෙන්න.

මනස සුවපත් කරන දිව්‍යමය ඖෂධයක් ලෙස සංගීතය දැක්විය හැක. ඔබ ඝෝෂාකාරී සහ වේගරිත්මයන් නොවන ගීත එනම් සවනට මිහිරි මනස සුවපත් වන ගීත හට සවන් යොමු කිරීම තුළින් අපට සතුට උපයා ගත හැක.

02.යහපත් ක්‍රියාවන්හි නියැලෙන්න.

ඔබ අන්‍යයන් වෙනුවෙන් යහපත් ක්‍රියාවන්හි නිරත වීම හරහා සතුටු උපයා ගත හැක. ඔබ නිරන්තරයෙන් අනෙකාට උදව් උපකාරක සිදු කරන්න. ඔබගේ දෙමාපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් හට ආදරයෙන්, රැකවරණය ලබාදීම හරහා සතුට ළඟා කරගත හැක. අහිංසක අතරමං වූ සතුන් සඳහා එසේ නැත්නම් වැඩිහිටි නිවාස තුළ ජීවත්ව වන අපගේ ආදරණීය අම්මලා තාත්තලා සතුටු කිරීමට ඔබට යම් දෙයක් කළ හැකි නම් එය අපගේ ජීවිතය තුළ සිදු කරනු ලබන යහපත් ක්‍රියාවන් වේ. හැකි සෑම විටම ඔබට හමු වන පුද්ගලයන්ට සිනාවකින් හෝ සංග්‍රහ කරන්න. ඔවුන් ඔබ වෙත පෙරළා සිනාවකින් සංග්‍රහ කරන විට ඔබට විශාල සතුට ළඟා කරගත හැක.

03.ආගමික වතාවත් තුළ නිරත වෙන්න.

ඔබ ආගමික ස්ථානයකට ගොස් එහි වටපිටාව පිරිසිදු කරමින් වතාවත් සිදු කිරීමට සුදුසු පරිසරයක් ගොඩ ගොඩනැගීම සිදු කළ හැක. එම ක්‍රියාව ඔබට සතුටක් ගෙන දෙනු ඇත. භාවනාව පුද්ගලයන්ගේ මනස සුවපත් කරන තවත් ඖෂධයකි. ඔබේ මානසික පීඩනය අවම කිරීමට භාවනාව උපකාරී වේ. ඔබට පහසු සරල භාවනා ක්‍රමයන් දවසේ ඔබට පහසු වේලාවක දී නිරත වීම තුළින් මනස සුවපත් වේ. දිනපතා සුළු වේලාවක් අපට භාවනා කිරීමට හැකි වීම තුළින් මනස සුවපත් වී සතුට ජීවිතයට ළඟා වනු ඇත.

04.සම්බන්ධතා පවත්වාගෙන යාම.

පුද්ගලයෙකු තම දෙමාපියන් සමඟ යහළු යෙහෙළියන් සමඟ වැඩිහිටියන් සමඟ සබඳතා පවත්වා ගෙන යාම තුළ සතුට ළඟා කරගත හැක. ප්‍රියයන් සමඟ කාලය ගත කිරීමට යාම තුළ සාර්ථක අන්තර් පුද්ගල සබඳතා මෙන්ම සමාජ සබඳතා ගොඩනගා ගත හැක. ඒ ආකාරයට සබඳතා හරහා සතුට උද්දීපනය වනු ඇත.

05.හොඳින් නිදා ගැනීම.

වර්තමානය තුළ හොඳින් නිදා ගැනීම මේ වනවිට අභියෝගයක් වී හමාරය. දවසකට පැය අටක් වැනි වැඩි වේලාවක් නිදා ගැනීම තුළින් ඔබට විෂාදයෙන් මිදෙන්නට මෙන්ම ධනාත්මක ආකල්පයන් වර්ධනය කරගත හැක. පීඩාකාරී මනසට විඩාවක් ලබාදෙමින් සතුටින් සිටීම සඳහා හොඳින් නිදා ගැනීම අත්‍ය‍වශ්‍ය අංගයක් වනු ඇත.

06.ඉගෙනුම් කටයුතු වල නියැලීම.

පුද්ගලයකුට උප්පත්තියේ සිට මරණයට පත්වන මොහොත දක්වා ඉගෙනීම සිදු කළ හැක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පුද්ගලයකු හට ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ යන කඩයිම් විභාගයන් සඳහා සාර්ථකව මුහුණදෙමින් දැනුම වර්ධනය කර ගනිමින් උසස් අධ්‍යාපනයට ද නිරත විය හැක.අධ්‍යාපනය තුළින් ඔබ යම් ජයග්‍රහණයක් ලබා ගත් විට ඔබට සතුටු විය හැක. පුද්ගලයාගේ මනස යම් අරමුණක් වෙත යොමු කිරීම තුළින් ගැටලුකාරී මනසට සහනයක් ලබාදෙමින් සතුට ළඟා කරගත හැක.

07.ලද දෙයින් සතුටු වන්න.

පුද්ගලයාගෙන් පුද්ගලයාට සංසාර චක්‍රය තුළ විවිධ ආකාරයට ලැබීම් සිදුවේ. පුද්ගලයන්ට සුපෝකබෝගී ජීවිත මෙන්ම දුගී දුප්පත් ජීවිතයන් ද හිමි වනු ඇත. අපට ලැබෙන දෙය තුළින් තෘප්තිමත් විය යුතුය. ඔබ ආක්‍රමණිකයකු සේ සියල්ල පිටුපස හඹා යෑම වෙනුවට ඔබට ලැබී ඇති දෙය පිළිබඳව සතුටින් බැලීම සිදු කරන්න. එවිට සතුට ඔබව සොයා පැමිනෙනු ඇත.

මෙම ක්‍රමවේදයන් හි ඔබ නියැලීම තුළින් සතුට ළගා කර ගත හැක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව “සන්තුෂ්ටි පරමං ධනං” යනුවෙන් සතුට පරම ධනය ලෙස දක්වා ඇත. සතුට පුද්ගලයකු හට වටිනා ආභරණයකි. ඒ ආකාරයට සතුට ඔබගේ ජීවිතයට ළඟා කර ගැනීම සඳහා උත්සහ කරන්න. කැප වෙන්න. එවිට සතුටින් පිරී පවතින සුන්දර ජීවිතයක් හිමි වනු ඇත.

 

තරිණි නානායක්කාර

විශේෂවේදී පළමු වසර 

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය