මතු රැකෙන්නට නම් උගත මනා ශිල්පය තිබිය යුතුමය. එබැවින් කුඩා කල සිටම තමන් දන්නා ශිල්පය දරුවන්හට ලබා දීමට දෙමව්පියෝ අපමණ වූ වෙහෙසක් දරති. දෙමව්පියන් වූ කලී දරුවන් උස්මහත් කරනුයේ ඔවුන් සමඟ යාමට නොව ඔවුන් පසුකර යාමටය. එබැවින් තම දරුවන්ට නැණ ගුණ කියාදීමට ගුරුවරුන් කරා ගොස් ඔවුන් සෙවණේ දරුවන් වැඩෙන්නට ඉඩහරී. පාසල නම් වූ ඒ උතුම් ස්ථානයේ නැණගුණ සපිරුණු දරුවන් අතරින් අතිවිශිෂ්ට දස්කම් විදහාපාන සීමිත ශිෂ්‍ය පිරිසක් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසුකම් සපුරති. එනම් සරසවි අධ්‍යාපනයයි. එතැන් පටන් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයට සමු දී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට හුරුවන ඔවුන් විද්‍යාර්ථීහූ නම් වෙති.

විශ්වීය සාගරය තරණය කළ හැකි නෞකා බඳු සරසවි, පහසුකම් අතින් අංග සම්පූර්ණ විය යුතු බැවින් නගරබදව ඉදිකර ඇත. ආර්ථික විශමතාවයෙන් යුතු ලංකාව තුළ සරසවි නෞකාවට ගොඩවන බොහෝ සිසුන් අතිදුෂ්කර යැයි සලකන එහෙත් සුන්දර වූ සොබාදහමේ අසිරිය විඳිමින් සිය නැණගුණ සැපිරූ පිරිසකි. ඔවුහූ දිවා රෑ වෙහෙසී මංපෙත් එළි කරගන්නට වෑයම් කරනුයේ තම සිහින පාරාදීසයේ ඇති සරසවිය වෙත ගොඩවීමේ අපේක්ෂාවෙනි. නිමක් නැති සතුට ද දරාගෙන තමා සුදුසුකම් ලද සරසවිය කරා පැමිණෙන ඔවුහූ සරසවි නේවාසිකාගාරය තුළ දී හුදෙකලාව  කඳුලු සලනුයේ තමා උපතේ සිට හැදී වැඩුණු අසිරිමත් සොබාදහම මෙන්ම තමා ළගින් නිබඳව ශක්තියක්ව රැඳී උන් දෙමව්පියන්ගෙන් වෙන්වීමෙන් හදවත සිදුරුවූවාක් මෙන් දැනෙන ශෝකාකූල හැගීම නිසාවෙනි.

කෙමෙන් කෙමෙන් ගැමි ජීවිත නාගරික පරිසරයට හැඩගැසෙන අතර  විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට යනෙන හැම මොහොතකදීම විද්‍යාර්ථීන්හට නව මිතුරන් හදුනාගත හැකි වේ. සරසවියෙන් ලබා ගත හැකි අත්දැකීම් මෙතෙකැයි කියා කිව නොහැකිය. කෙසේ වෙතත් දිනෙන් දින නාගරික පන්නයට හැඩ ගැසෙන විද්‍යාර්ථයා නාගරික සමාජය හා මුසුවීම ද නිරුත්සාහයෙන්ම සිදුවේ. ඒ කෙසේද යත් අසරණ දෙමව්පියන්හට තවදුරටත් බරක් වීමට විද්‍යාර්ථයාට සිත් නොදෙන හෙයින් අධ්‍යාපනය ලබන අතරතුර සමාජයේ විවිධ වෘත්තීන්වල නියැලීමට ඔහු අදහස් කරයි. තමා කුඩා කල සිට නොනිම් උත්සාහයකින් හා කැපවීමකින් තම කටයුතු කළ අයුරින්ම ඉදිරියත් ජය ගැනීමට අධිෂ්ඨාන කර ගනී. එය මුළු මහත් සමාජයටම ඉතාමත් ආදර්ශයකි.

මේ අයුරින් ඉදිරියට ඇදෙන ජීවන රුවලට බාධා පමුණුවන සුළිසුළඟ මත්රකුසා ය. තරුණ ජීවිත නිකරුනේ විනාශ කර දැමීමට මත්ද්‍රව්‍ය යොදා ගන්නා කුහක මිනිසුන් මල් කැකුළුවන් දරුවන්ගේ දෙමව්පියෝ නොවෙති ද? සරසවි සිසුන් සමාජයට මුහුවීමත් සමගම වේගයෙන් ක්‍රියාත්මක වන මත්රකුසා කොවිඩ් මාරයාට වඩා භයානක ය. මත්කුඩු, මත්දියර, මත්පෙති ආදී වූ මත්ද්‍රව්‍ය ඇතැම් විට සරසවි දොරගුලු කඩා ඊට ඇතුල් වී සිසුන්ට බරපතළ හානි පමුණුවයි.

සුවාසූදහසක් බලාපොරොත්තු පොදි බැඳගත් අහිංසක දෙමව්පියන්ගේ දහඩිය කඳුළු සියල්ල ගඟට කපාදැමූ ඉන්නක් මෙන් ගහගෙන යන්නේ සිය දරුවන් මත්රකුසාගේ ග්‍රහණයට ලක්ව ඇති හෙයිනි. නින්ද පන්නා දමන්නට දෙපා වතුරේ ඔබාගෙන දහසක් දේ කැප කරමින් සරසවි සිහිනය උදාකර ගත් සිසුවා මත් රකුසාට බිලි වූ විට සිහින සියල්ල ඇස් පනාපිට බොඳවී යයි. පාසලේ සියලු දෙනාගේ අත්පොළසන් මැද විශිෂ්ටයෙකු ලෙස ගෞරවයට පවා පාත්‍ර වී සරසවිය වෙත පියනැගුවත් අවසානයේ මත්රකුසාට බිලි වීමෙන් සියලු දෙනාගේ ගෞරවයට පවා නින්දා කරයි. රටේ විශිෂ්ටයන් ලෙස සලකන අනාගත පරපුර මෙසේ මත්රකුසාට බිලි දීමෙන් සුන්නද්දූලි වී යන්නේ රටේ සුරක්ෂිත විය යුතු අනාගතයයි. විශ්වයම දැනගෙන සමාජයට වැඩදායී පුද්ගලයෙකු විය යුතු වුවත් මත්රකුසා පියාපත් අහිමි වූ පක්ෂියෙකු බවට සරසවි සිසුවා පත් කරයි. එයින් අනාගතය, වහලක් නොමැති නිවසක් බවට පත් වේ.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථයාහට හමුවන මිතුරන් ආශ්‍රය කිරීමේදී ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය. මන්ද මිනිසා බොහෝ විට අනෙකා සමඟ කළුපග වන්නේ මිතුරුකමකට එහා ගිය හතුරුකමකට ය. සමාජානුයෝජනය වීමේදී සීමාව ඉක්මවා නොයා යුතුය. තමාට විශ්වීය අධ්‍යාපනයට මංපෙත් විවර කිරීමට අනන්ත අප්‍රමාණ දුක් විඳින තම ආදරණීය දෙමව්පියන්, ගුරුවරුන්, ප්‍රියශීලී පුද්ගලයන් කිසි දින අමතක නොකළ යුතුය. සරසවි සිසුවා කුඩා කල සිටම පුරුදු පුහුණු කළ නැණගුණ එලෙසින්ම ආරක්ෂා කරගත යුතු අතරම තව තවත් ගුණදහම් වැඩිය යුතුය. එමෙන්ම තමා සමග උරෙනුර විශ්වය තරණය කරන අනෙකා, තරගය අතරමග නවතා වැරදි මග ගමන් කරන්නේ නම් යහමග ගැනීමට වචනයකින් හෝ උපකාර කළ යුතුය.

කෙසේ හෝ අවාසනාවන්ත අයුරින් මත් රකුසාට බිළිවූ සරසවි ජීවිතද නැතුවාම නොවේ. නමුත් වර්තමානය වනවිට ලංකාවේ විශ්වවිද්‍යාල සියල්ලකම පාහේ ඔවුන් එයින් ගලවා ගැනීමට අවශ්‍ය උපදේශන සේවා ක්‍රියාත්මක වනු පෙනේ. එබැවින් තරුණ ජීවිත නිකරුනේ නාස්ති වීමට ඉඩහැර බලා සිටීම අවශ්‍ය නොවේ. මත්රකුසාට බිලි වීමෙන් සරසවි සිසුන් පිළිකාවලට පවා ගොදුරු වන අතර ඒවාට ප්‍රතිකාර මධ්‍යස්ථාන පවා බිහිවී ඇත්තේ රටේ අනාගතය සුරක්ෂිත කළ යුතු බැවිනි.

සරසවි අධ්‍යාපනයට පැමිණෙන සියලු දෙනාගේම වගකීම වන්නේ දැනුම හඹා ගොස් වෘත්තීය  ජීවිතයට අවශ්‍ය පදනම සකස් කර ගැනීමයි. එමගින් සමාජයට ගුණගරුක වැඩදායී පුරවැසියකු බවට පත්වීමයි. රටේ අවිනිශ්චිත වූ අනාගතය සුරක්ෂිත කිරීමයි. හෙට වෙනුවෙන් අද කැප වන්නේ නම් ඉදිරිය ජයගනු නොඅනුමානයි.                                                                                    

 

කෞශල්‍යා තිලකරත්න

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය