Image
වසර දෙදහස් ගණනක ඉතිහාසයක් පවතින ශ්‍රී ලංකාවේ ආහාර පාන සංස්කෘතියේ ඇති විවිධත්වය හා චමත්කාරය එදා මෙදා තුර මෙරට ජීවත් වූ දෙස් විදෙස් සියලු දෙනා අගය කර ඇත.  ලංකාවේ පැරණි කෘෂිකාර්මික වගාබිම් සහ ආහාරපාන දේශීය සතුන්, ස්වභාවික කෘමිනාශක වර්ග, සරුසාර අස්වනු වගේම අපතේ නොදමා ගුණාත්මකව සාදනු ලබන ආහාර වේල් මෙහිදී ඉතාමත් වැදගත්ය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ කායික හා මානසික නිරෝගීභාවය දුරස්වීමට වැරදි ආහාර පුරුදු,  විෂ ආහාර වර්ග මෙන්ම ගෝලීයකරණය මත ඇති වූ විපර්යාසයන් ද බලපා තිබේ.
සිංහලයා පුරුදුව ඇත්තේ ‘නෑ , බෑ‘ යන්නටයි. වැව් අමුණු, සශ්‍රික වගාබිම්, වෙහෙර විහාර මතින් ස්වයංපෝෂිතව සිටින ලාංකිකයාට පරගැතියන් විසින් ටිකෙන් ටික අනවශ්‍ය අවශ්‍යතා පෙන්වා දෙමින් ඔවුන්ගේ වාණිජ අවශ්‍යතා ඉටු කර ගන්නට විය. කාබනික පොහොර යොදා ගනිමින් හොඳ අස්වැනනක් ලබා ගත් පැරණි ගොවියාට රසායනික පොහොර  හඳුන්වා දෙන්නට විය. වගාබිම් ආරක්ෂා කරන ස්වභාවික දේශීය ආරක්ෂණ ක්‍රම වගාබිම් වලට යොදා ගත් ගොවියාට රසායනික ක්‍රම හඳුන්වා දෙන්නට විය. නිරෝගී සිංහල ජාතිය ලෙඩ්ඩුන් කිරීමට ප්‍රධානවම මේ ආහාර පද්ධතියේ වෙනස බලපාන්නට විය. අවුරුදු සියයකටත් වඩා ආයු වැළදු ශ්‍රී ලාංකිකයා අද වන විට අවුරුදු 50-60 දක්වා කෙමෙන් ආයු වැළඳීමේ කාලය අඩු වී දූෂිත සමාජයකට පියමන් කර ඇත. මෙයින් ගැලවී දේශිය දේට ඉඩ දීමට ලාංකීකයන් නැවත හැඩ ගැසෙන්නේ නැත්තේ මන් දැයි මා නොදනිමි.
දේශීය කෘෂිකර්මාන්තය ස්වභාවික ක්‍රම අනුගමනය කරමින් වැඩි දියුණු කරනවා නම් ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට එය විශාල සහනයක් වන අතර කායික නිරෝගී භාවයට පමණක් නොව මානසික නිරෝගීභාවය ද එය විශාල සහනයකි. රසායනික පොහොර භාවිතයෙන් ඈත්ව වසවිෂ ගිල දමන ජාතියක් වෙනුවට නිරෝගී ජාතියක් බිහි කිරීමට රටට ජාතියට ආදරය කරන සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුය.
Image
සාරවත් වූ වෙල් යාය, එළවලු වගාවන්, පලතුරු වගාවන් මෙන්ම ස්වභාවික කෘමිනාශක, වගාබිම් සරු කරන දේශීය ක්‍රම වෙනුවට පරගැතියන්ගේ විෂ වලට යට වූ සිංහලයාගේ දෑස් විවර කළ යුතුය. ‘අපට බෑ  , බේත් නෑ’ නොකියා සාර්ථක අස්වැන්නක ආශ්වාදය නැවත අප ලබාගත යුතුය. අපේ රටේ සරුසාර රන් පොළොවේ වගා කරන වගාවන් පිටරටටම නොයවා අපේ රටේම ජනතාවගේ සම්පත් මිනිසුන් තැනීමට නිතැතින්ම යොදා ගැනීම ඉහළ බලධාරීන්ගේ, ජනමාධ්‍යයේ, නව මාධ්‍යයේ වගේම සියලු ජනතාවගේ වෑයම විය යුතුය. දේශීය ක්‍රම ඔස්සේ වැඩි අස්වනු ලබාගත හැකි දේශීය ක්‍රම පිළිබඳව නිතැතින්ම ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්  වේ. කෘෂිකර්මාන්තය හරහා ගොඩනගන්නා වූ තාක්ෂණය දියුණු කරමින් නැවතත් කෘෂිකර්මාන්තය කාබනික පොහොර යොදා ගෙන සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය.
වගාබිම් උදෙසා ස්වභාවික පරිසරයේ ම ක්‍රම භාවිතයට ගනිමින් කාබනික පොහොර යොදා ගන්නවානම් වස විසෙන් තොර ආහාර පරිභෝජනයට හැකියාව ලැබෙති. එපමණක් නොව ශ්‍රී ලාංකික අප මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ මන්දපෝෂණය ද හිස ඔසවමින් පවතියි. ගෙවත්තේම වගා කරමින් වටපිටාවේ ඇති ආහාරයට ගන්නා සියල්ල අරපිරිමැස්මෙන් ඉවත දමන දෙයින් පවා ප්‍රයෝජනයට ගන්නවා නම් අප මුහුණ පා ඇති ගැටලුවලින් මිදීමට හැකියාව ලැබේ යැයි මා දැඩිව විශ්වාස කරමි.
ශ්‍රී ලංකා භූමියේ වගාබිම් තව තවත් වැඩි දියුණු කරනවා නම් මේ මුතුඇටය තවත් පරම්පරා රැසකට ආරක්ෂා කර දිය හැකිය.
 
 නිරෝධ්‍යා සඳමිණි
 තුන්වන වසර
 ජනසන්නිවේදන අධ්‍යයන අංශය
 සමාජ විද්‍යාපිඨය